The Water Resource

ජල සම්පත

ජලය මිහිකතගේ රුධිරය වැනි ය. මේ මුළු ලෝ තලය නිල් ග්‍රහයෙකු වූයේ ජලය නිසා ය. මිහිමත ජීවය ඇති වූයේ ජලය නිසා ය. ජීවීන්ගේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය ය. ජීවයට සුදුසු සුන්දර සෞම්‍ය පරිසරයක් ඇති වූයේ ජලය නිසා ය. එබැවින් ජලය අමිල සම්පතකි.

සියළු ම ජීවීහු ජල පිපාසාවෙන් පෙළෙති. ආහාර නොමැතිව දින ගණනාවක් ජීවත් විය හැකි වුවත් ජලය නොමැතිව ජීවත්විය හැකි වන්නේ පැය කීපයක් පමණි. ජීවිතය පවත්වාගෙන යෑමට සතුන්ට, මිනිසුන්ට පමණක් නොව ගහකොළවලට ද ජලය අත්‍යවශ්‍ය වන්නේ ය. මිනිසුන්ට පිරිසිදු පානීය ජලය හිඟ බැවින් එය මහගු අමිල සම්පතකි.

මිනිසාව ජීවත් කරවන ජලය, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ම දූෂණය වීම සිදුවේ. කෘෂිකර්මාන්තය සඳහා ජලය බොහෝ සේ භාවිතා වේ. එහිදී වනාන්තර එළි කිරීම සහ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ජලය දූෂණය වේ. කාර්මීකරණය හේතුවෙන් ඇති වූ බොහෝ යන්ත්‍ර සූත්‍ර සහ කර්මාන්ත ජලය දූෂණය කරයි. ජනගහනය වැඩිවීමත් සමඟ තැන් තැන්වල කුණු කසල දැමීම වැඩි වන බැවින් ජල සම්පත දූෂණය වේ. මෙසේ ජලය දූෂණය වීම තුලින් මිනිසාට පමණක් නොව, සතා-සීපාවා ගහකොළ ඇතුළු මුළු ලෝකයට ම අයහපත සිදුවේ.

දිය උල්පත් ඇතිකරන වනාන්තර රැකගත යුතුය. ජල දූෂණය සිදු කරන සියලුම කටයුතු නවතා දැමිය යුතුය. ජලය අරපරෙස්සමෙන් භාවිතා කළ යුතුය. එය අපගේ ජීවිතය රැක ගැනීමකි.

– වචන 185


තිබිය යුතු වචන සංඛ්‍යාව = 150
ලකුණු =14 න්


Sinhala essay :- The Water Resource – Grade 7

Share this essay for others

Comments are closed.
shares