The impact of global terrorism on the national economy

ගෝලීය ත්‍රස්තවාදය ජාතික ආර්ථිකයට සිදුකරන බලපෑම

“ත්‍රස්ත” යන වචනයේ අදහස “බියපත්” නැතිනම් “තැතිගත්” යන්නයි. ඒ අනුව ත්‍රස්තවාදය යනු සමාජය තුළ බිය ඇති කිරීම මගින් රාජ්‍ය තන්ත්‍රය තැතිගන්වා රාජ්‍ය බලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ආදි නීතියට පටහැනි ක්‍රම උපයෝග කර ගනිමින් ගෙන යන සංවිධානාත්මක ක්‍රියාමාර්ග වන්නේ ය. මෙවන් ත්‍රස්තවාදී කණ්ඩායම් රටකට පමණක් සීමා නොවී පිළිකාවක් සේ අනෙකුත් රටවල ද ව්‍යාප්ත වෙයි. එය “ගෝලීය ත්‍රස්තවාදය ලෙස හඳුන්වයි.

මනුෂ්‍ය සමාජයේ භිෂණය වපුරන රුදුරු ත්‍රස්තවාදී සංවිධාන රාශියක් ලොව පුරා ව්‍යාප්ත වීම අභාග්‍යයකි. එම ත්‍රස්තවාදී සංවිධාන තම අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා නොයෙකුත් රටවල මනුෂ්‍ය ඝාතන සිදු කරයි. දේපල හානි සිදු කරයි. ඇමරිකාවේ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරය, නවසීලන්තයේ ත්‍රස්තවාදී ප්‍රහාරය, ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මෙවැනි ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් මෑතකාලීන උදාහරණ වේ.

ජාතික ආර්ථිකය යනුවෙන් අර්ථකථනය කරන්නේ රටක දළ දේශීය නිෂ්පාදනය සහ ආර්ථික වර්ධනයයි. රටක ජනතාව ගොවිතැන් කිරීමෙන් නිපැයුමක් සිදු කරති. එය කෘෂිකර්මාන්තය ලෙස හදුන්වයි. එසේම රටක් විවිධ කර්මාන්ත සිදුකිරීමෙන් නිපැයුමක් සිදු කරයි. වෛද්‍යවරු, ගුරැ, හෙද, වෙළඳාම ආදී වශයෙන් සේවා ඉටු කරමින් ඉපයීමක් සිදු කරයි. මේ සියල්ලම හෙවත් කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා යන තුන් ආකාරයකින් රටක් ජාතික ආර්ථිකය සකස් කර ගනී.

ත්‍රස්තවාදය රටකට කොඩිවිනයකි. ත්‍රස්තවාදය රටක මුල් බැසගත් පසු මුලින්ම කේඩෑරි කරනුයේ කෘෂිකර්මාන්තය යි. අතීත ශ්‍රී ලංකාවේ යාපන ප්‍රදේශයේ කෘෂි අස්වැන්න නැව් පටවා අපනයනය කළ බව පුවත්පත්වල සඳහන් විය. උතුරු සහ උතුරුමැද පළාත්වල පැවති එබඳු කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය ත්‍රස්තවාදය සමග සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නට විය. කෘෂිකර්මයට ශ්‍රමය අහිමිවීමත්, ගොවීන්ට කෘෂි බිම් අහිමි වීමත්, භීෂණය හේතුවෙන් සමාජය කම්පනයට පත් වීමත් තුළින් ගොවිතැනට වැට බැඳුණි.

රටක් පාලනය කිරීමේ දී වියදමක් දැරීමට රජයට සිදුවේ. රජයක් ඒ සඳහා මුදල් සොයාගන්නේ බදු එකතු කර ගැනීමෙන් ය. ජනතාවගෙන් බදු එකතු කළ යුත්තේ බඹරෙකු මල නොතලා රොන් රැස්‌කරන්නා සේ ය. නමුත් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන රටක සිදුවන දේපළ හානි සහ අධික ආරක්ෂක වියදම් පියවා ගැනීමට මල පමණක් නොව මල් ගස ම උදුරා ගත යුතුය. එසේම ත්‍රස්තවාදය හේතුවෙන් දේශපාලන අස්ථාවරත්වය ඇති වේ. දූෂණ වංචා වර්ධනය වේ. විපත සිදුවන්නේ රටේ ජනතාවට සහ කර්මාන්ත සහ සේවා අංශවලට ය. අවසාන වශයෙන් සිදුවන්නේ ජාතික ආර්ථිකය බිඳ වැටීම ය.

දරිද්‍රතාවය, ආගම්වාදය, ජාතිවාදය සහ අධිරාජ්‍යවාදය යන කුමන හේතුවක් මත හෝ ත්‍රස්තවාදය බිහි වුවද මෙය ව්‍යාප්ත වී වර්ධනය වෙන්නේ සංවිධානය කරන නායකයන්ගේ ආර්ත්මාර්තකාමී බලය තහවුරු කරගැනීම සඳහා බව පෙනේ. එබැවින් ත්‍රස්තවාදීන් සාධාරණීයකරණය කරමින් ඒ හා එකතු වීම සහ සහයෝගය ලබාදීම මුග්ධකමකි.

– වචන 350


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 300-350
ලකුණු =25 න්


Sinhala Essay :- The impact of global terrorism on the national economy – Grade 12/13

Share this essay for others

,

No comments yet.

Leave a Reply

shares