Sri Lanka garbage problem

* පහත දැක්වෙන අ, ආ, ඉ, ඊ යන විස්තර අතුරින් එකක් තෝරාගෙන, වචන 250 කට නොඅඩු වන සේ රචනාවක් ලියන්න. ඒ සඳහා යෝග්‍ය මාතෘකාවක් ද යොදන්න.

 

විස්තරය

නිවෙස්, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන ආදියෙහි රැස්වන කුණු කසල අවට පරිසරයට බැහැර කිරීමේ අශෝභන ක්‍රියාවට ශ්‍රි ලංකාවේ බොහෝදෙනෙක් නැඹුරු වී සිටිති. මෙලෙස තැන තැන ගොඩ ගැසුණු කුණුගොඩවල් පරිසරයට මෙන් ම මිනිසුන්ගේ සෞඛ්‍යයට ද බලවත් තර්ජනයකි. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ කුණු කසළ බැහැර කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැති කමටත් වඩා මේ සම්බන්ධයෙන් ජනතාව දක්වන නොසැලකිල්ල බව පෙනේ. එබැවින් කුණු කසල බැහැර කිරීමේ විධිමත්, සෞඛ්‍ය ආරක්ෂක, පරිසර හිතකාමී, ක්‍රමෝපායන් හඳුන්වා දීමට සමගාමී ව ජනතා ආකල්ප වර්ධනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම ද වැදගත් ය.

අ.පො.ස සාමාන්‍ය පෙළ – 2014

ශ්‍රි ලංකාවේ කුණු කසල ගැටලුව

මිනිස් ඇසට ප්‍රිය උපදවන තුරුලතා, මල් ගොමු, නෙක උයන්, රූරා වැටෙන දිය ඇලිවලින් ශෝභමාන වූ ලක් දෙරණ මත තැනින් තැන පිළිකුල්සහගත නරකාදි වැනි ය. ඒ වෙන කිසිවක් නොව නිවෙස්, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන ආදියෙහි රැස්වන කුණු කසල ගොඩගැසූ කුණු කඳු ය. මිනිසාගේ දෛනික කටයුතුවලදී අවිචාරවත් ලෙස පරිසරයට ඉවතලන මේවා ඝන අපද්‍රව්‍ය ලෙස හදුන්වයි.

ශ්‍රි ලංකාවේ මෙලෙස තැන තැන ගොඩ ගැසුණු කුණුගොඩවල් රාශියකි. සුප්‍රසිද්ධම කුණු කන්ද කොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්දයි. ඊට අමතරව රත්මලාන කරදියාන කුණු කන්ද, මහවැලි ග‍ඟේ මායිමේ පිහිටි මහනුවර, ගොහාගොඩ කුණූ කන්ද, බොහෝ ප්‍රසිද්ධ කුණු කඳු ය. අප්‍රසිද්ධ වුවද දිවයිනේ සෑම තැනකම කුඩා කුඩා කුණු කඳු ඇති බව කවුරුත් දන්නා කරුණකි. මෙලෙස තැන තැන ගොඩ ගැසුණු කුණුගොඩවල් පරිසරයට මෙන් ම මිනිසුන්ගේ සෞඛ්‍යයට ද බලවත් තර්ජනයකි. ගොඩ ගැසුණු කුණුගොඩවලින් මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායු පිටවේ. කුණුගොඩවලින් ශ්‍රාවය වන අපදියර ජලයට එකතුවේ. මේ හේතුවෙන් අවට සිටින ජනතාවට මෙන් ම මුළු මහත් රට වැසියාට ම නොයෙකුත් රෝගාබාධ වැළඳෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ කුණු කසළ බැහැර කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැති කමටත් වඩා මේ සම්බන්ධයෙන් ජනතාව දක්වන නොසැලකිල්ල බව පෙනේ. කුඩා කල සිටම කුණු කසල නිවැරදි ලෙස ඉවතලෑමේ ක්‍රමශිල්ප පාසල මගින් හුරු කරනු ලැබේ. නොයෙකුත් ජනමාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ ජනතාව දැනුවත් කෙරේ. නමුත් මෙම පරිසරයේ සුන්දරත්වය පිළිබඳ සැලකිල්ලක් දක්වන පිරිස ඉතා අල්පය.

ශ්‍රී ලංකාවේ මෙම කුණු කසළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයකි. රජය මේ ප්‍රශ්නය සඳහා විවිධ විසඳුම් ගෙන ඇත. පොලිතින් භාවිතය පරිසර හිතකාමී ලෙස කිරීමට නීති සැකසීම අගය කළ හැකිය. එසේම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘති ආරම්භ කිරීම ඉතා යහපත්ය. නාගරික ප්‍රදේශවල කුණු කසල වර්ගීකරණ වැඩපිළිවෙළ ඊටත් වඩා අගනේය. නමුත් මේ සියල්ලට සමගාමී ව ජනතා ආකල්ප වර්ධනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම ද වැදගත් ය. නැතිනම් අවසානයේ කීමට වන්නේ “ගඟට ඉනි කැපුවා වගේ” යන්න ය.

කුණු කසලින් තොර හරිත වර්ණ පිරුණු සුන්දර රටක් අපගේ ප්‍රාර්ථනයයි. ඒ සඳහා පරිසරය ගැන හිතන, පරිසරය ගැන යහපත් ආකල්ප දරන රට වැසියන් අත්‍යවශ්‍යය.

– වචන 294


තිබිය යුතු මුළු වචන සංඛ්‍යාව = 250
ලකුණු =25 න්


Sinhala essay :- Sri Lanka garbage problem – Grade 10/11

Share this essay for others

,

3 Responses to Sri Lanka garbage problem

  1. 123 February 17, 2019 at 2:09 pm #

    supiry

    • 667 April 9, 2019 at 10:28 am #

      a good and useful massmedia for all the grade 10 students.awesome

  2. 443 April 10, 2019 at 2:53 pm #

    awesome,attractive,brilliant ideas

Leave a Reply

shares